දුර නෑයෙක්
මාමලෑ ගෙදර පිරිතක් කියවන්න ලෑස්ති වෙනවා කියලා මට ආරංචිවුනේ අයියගෙන්. අයියා ඒ ආරංචිය සැලකුවේ විහිළුවක් වගේ.
“මොකද මන්දා මලයා අප්පච්චිටයි අම්මටයි දෙන්නටම පිරිතක් ඕනවුනේ!”
“ඉතින් මොකද මාමයි නැන්දයි කිව්වේ?”
“අම්මා නම් කිව්වේ දැන් මාත් ඇවිත් ඉන්න එකේ ගෙදර ආයෙත් ටිකක් එලියයි කියලා… මට නම් හිතෙන්නේ මං ඉන්න එකම නෙවෙයි… ගෙදරක් හදාගන පදිංචිවෙයි කියලා තමා බලාගෙන ඉන්නේ…”
“කසාදෙකුත් බැඳලා!”
“නිකන් හිටපන් මලයා, උඹත් පටන් ගන්නෙ නැතුව. අම්මගෙන් හෝ ගාලා හින්ට් එනවා ඉන්දිරා ගැන”
“මාමා මොකද කියන්නේ?”
“අප්පච්චිත් අම්මට සපෝට්. හැබැයි යම් විදිහකින් අප්පුහාමිත් මේකට ගෑවෙයි වගේ”
“ඉතින් පිරිතට දවසක් එහෙම සෙට් කරලද දැනටම?”
පිරිත පැවැත්වෙන දවස ගැන මාමගෙන්ම අහගන්න අපි තීරණය කරා. දවස තීන්දු වුන වහාම මාමගෙන් කෝල් එකක් එන බව මට හොඳටම විශ්වාසයි. හිතුවා වගේම ඊට දවස් කීපෙකට පස්සේ මාමා මට ටෙලිෆෝන් කරා.
“පුතාට ලොක්කා කිව්වා නේද අපි ගෙදර පිරිතක් කියවන්ට යනවා කියලා? එයාට මේවා ගැන ගානක් නෑ; ඕනෑකමක් ඇත්තෙම නෑ… සමහරවිට පුතාට ඊට වැඩිය හොඳට මේවා තේරෙණවා ඇති… අපි විශ්රාම ගිය දවස්වලට පස්සේ මෙහෙ පිරිතක් කියවෙලා නෑ - දැන් අවුරුදු විසි පහකට ඉස්සර! ඒ වෙනකොට අපෙ දරුවෝ හයදෙනාම ගෙමෙන් ගිහින්! පුතාට මතක ඇති ඒ පිරිත - ඔය දෙන්නා බැඳලා මාස කීපයයි; එතකොට වැඩ කරේ අවිස්සාවේල්ල පැත්තේ නේද? ලොක්කයි වසන්තයිත් ආවා…”
මාමා අතීතේ සිහිකරන්නේ හිතේ ලොකු දුකකින් වගේ. ඒ පිරිතට සුනිලයියගෙ පවුලේ අයයි, අනුලා නංගියි, කමලයි මමයි විතරයි හිටියේ මාමාලාගෙ කිට්ටුවන්තයෝ හැටියට. ඒ වෙනකොට මාමලාගෙ අනික් පුත්තු දෙන්නා රට ගිහින්; මගෙ නංගිට කොළඹ සරසවියේ විභාග. මාමයි නැන්දයි කවදාවත් ඒ පිරිතට ආපු/නොආපු අය ගැන වරදක් කිව්වෙ නෑ. නමුත් හිතට අමාරු වෙන්න ඇති.
“ලොක්කා ගෙදර ඇවිත් දැන් මාස ගානක් ගියා. මේ සැරේනම් මෙහෙ නවතින්ටම වගේ, අර රත්නායක දරුවයි, අලුතෙන් හදන්ට යන ගෙදරයි ගැන හිතනකොට අපිට පෙනෙන්නේ ආයෙත් අපෙ ගෙදර දරුවෝ එහෙම ඉන්න තැනක් කියලා….. අපි නාකිවුනාට පරණ දේ ලේසියෙන් අමතක වෙන්නෙ නෑ පුතා… අපි හිතුවේ පොඩි පිරිතක් කියලා, දානයක් දීලා මේ අලුතෙන් ලබන කාලේ … කාලෙට සුභ පතන්ට වගේ… ‘කිසි කෙනෙකුට කිසි කරදරයක් නොවේවා!’ කියලා ප්රාර්ථනා කරන්ට… ඕවා ඇත්තද බොරුද කියන එක අපිට වැඩක් නෑ - අපි දෙන්නගෙ හිතට සැපක් නම් එච්චරයි අපිට ඕනෑ!”
ඒ දිග කතාවෙන් පස්සේ මාමා නිහඬ වුනේ හිතේ තිබුන වැද්ගත් යමක් ඉතා අමාරුවෙන් වචන වලට හරවා හොඳටම මහන්සිවූ කෙනෙක් වගේ.
“මාර අදහස මාමා! මං හිතුවෙන නෑ මෙච්චර කාලෙකට ගෙදර පිරිතක් කියවිලා නෑ කියලා. මට හොඳට මතකයි ඒ අන්තිම පිරිත -කමලා ඉස්සරවෙලාම ගමේ රැයක් නැවතුනෙත් එදා… මේක හොඳට චාම්වට කරන්න ඕනෑ නේද මාමා? ඇයි වෙලාවක අපි එන්නෙ නැත්තේ විස්තර කතා කරගන්න? මාමලාට හරියන ඕන වීකෙන්ඩ් එකක්…”
මගෙ හිතත් අතීතෙට දුවන්න පටන්ගත්තා. ඒ ගමේ තිබුන අන්තිම පිරිතෙදි තමා මම අන්තිමට සම්පූර්ණ ගොක්කොල පිරිත් මඩුවක් දැක්කේ. දැන් හැමෝම කඩදාසි වලින් පිරිත් මඩු හදව ගන්නේ සල්ලි දීලා. ගමෙන් කවුරුත් අල්ලගෙන ආයෙත් ගොක්කොල මඩුවක් හදන්න මට ලොකු ආශාවක් ඇතිවුනා.
පිරිතට දවසකට ඉස්සර මමයි නිලන්තයි ගමේ ගියේ නිලන්තගෙ සරසවි යාළුවෙක් වන ආරිත් එක්ක. ආරි මීට ඉස්සර සැරයක් ගමේ රැයක් ඉඳලා තියෙනවා කොළදිමක් තිබුන දවසක. නිලන්ත කිව්වේ ගොක්කොල පිරිත් මන්ඩප සරසන්න ආරි ඉතා දක්ෂ බවයි. පිරිත් මන්ඩපේ හදන්නේ ගොක්කොල වලින් වීම ගැන මාමත් මාත් එක්ක එකඟ වෙලා හිටියේ.
ඇත්තටම ආරි නිර්මාණ කරපු පිරිත් මන්ඩපේ හරිම හැඩයි. ගමෙන් ටික්කයි නවරත්නයි උදව්වට හිටපු නිසා මට ඒ තරම් වැඩක් බාරවුනේ නෑ. මම වඩාම සන්තෝසවුනේ මාමගෙ වචනෙන්.
“ශඃ! නියමයි නේ පුතා… කොල්ලෝ දක්ෂයි නේද? තැන්ක්යූ නිලන්ත, තැන්ක්යූ ආරි… තැන්ක්යූ පුතා! දුවලා එක්ක එන්ට යනකොට මේ දරුවෝ නවත්තලා යන්ට - තව වැඩ තියෙයි”
මාමට ඕනවුනේ ආරිටයි නිලන්තටයි ස්තුති කරන්න මිස තව වැඩ බාරදීමට නොවෙයි කියලා මට තේරුනා. ඒ අනුව මම දවල් කෑමෙන් පස්සේ කමලයි සිරිනියි එක්ක එන්න තනියම නුවර යන්න පිටත්වුනා.
අට්ටික්කා ගහ කිට්ටුවදී අප්පුහාමී අත උස්සලා කාරෙක නවත්තන්න සංඥා කරා.
“අප්පුහාමී නුවර යන්නද?”
“නෑ මහත්තයා. කොහෙවත් යන්ට නෙවෙයි - ප්රශ්නයක් අහන්ට විතරයි මට ඕනෑ… පිරිතට මං ආවට කමක් නැද්ද?”
ඒක අමුතු ප්රශ්නයක්. දෙවි වරු පිරිත් අහන වන්දනාමාන කරණවා කියලා අහලා තිබුනට ඒ ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ.
“අප්පුහාමී මාමගෙන් නේ ඒක අහන්න ඕනෑ… මාමා අකමැති වෙන එකක් නෑ… හැබැයි අර අප්පුහාමිගෙ කවයේ අනුග්රාහකයෝ තුන්දෙනාට වඩා අය හමුවෙන්න පුළුවන්ද?... සමාවෙන්න … මං අහන්නේ නොදන්න නිසා…”
ඒ සැරේ අප්පුහාමී යන්තම් හිනාවුනා.
“මම දෙවියෙක් කියලා දන්නේ මගෙ අනුග්රාහකයෝ තුන්දෙනා විතරයි… නමුත් අනික් අය එක්ක ආශ්රය කරන්ට පුළුවන් බව මහත්තයා දන්නවා… මතක නැද්ද බීලා නටපු අරනෝලිස්? ගස් නගින ඌරෝ?”
“සොරි! … හැබැයි… අපි තුන්දෙනාට නොදන්වා මාමලෑ ගෙදර එන එක නම් වැඩිය හොඳ දෙයක් නෙවෙයි නේද? මං කියන්නේ… එක එක ප්රාතිහාර්ය කරලා…”
අප්පුහාමී දකුණු අත උස්සලා මගෙ කතාව නැවැත්තුවා.
“මම එහෙම නැහැදිච්චි වැඩ කරන්නෙ නෑ මහත්තයා… මටත් හැසිරීමේ නීති රීති තියෙනවා… “
“සොරි… ආයෙත්… මාමට කතා කරනවද එහෙනං?”
“මං හිතුවේ මහත්තයා මගෙන් පනිවිඩයක් ලොකු මහත්තයට දුන්නොත් ඇති…. ‘දේවා මලයා’ පිරිතට එනවා කියලා…”
…………………………………….
හාමුදුරුවෝ වැඩමවන්න නිලන්තයි අයියයි ගියේ අල්විස් මුදලාලිගෙ වෑන් එකේ. ඒ වෙලාවේ නැන්දා මට තේ කෝප්පයක් දෙන ගමන් සුදු ජාතික ඇඳුමෙන් සැරසී සිටි මැදි වියේ මිනිහෙක් මට හඳුනා දුන්නා.
“හා පුතාට හම්බවෙලා නෑ නේද අපෙ දේවා මල්ලී? මාමගෙ ඥාති සහෝදරයෙක් - මේ කාලෙකට පස්සේ මෙහෙ ආවේ”
නැදෑයෙකු පිළිගන්න විදිහට මම අත් දෙක එකතු කරලා ‘දේවා මාමා’ පිළිගත්තා.
“හොඳ දවසට මාමා ආවේ… කාලෙකට පස්සේ තියෙන පිරිතක්… අබේ මාමා අපිට කිව්වෙම නෑ මාමා එනවා කියලා”
අප්පුහාමිගෙ මඳ හිනාවත් ගැඹුරු කටහඬත් අබේ මාමගෙ ‘ගුරුවර’ හැසිරීමට කිට්ටුයි.
“නෑ පුතා… අයියා දන්නෙත් නෑ මං එනවා කියලා… ඊයේ තමා මට ආසාවක් ඇතිවුනේ ආයෙත් අයියයි අක්කයි දැකගන්ට… මම හිත හිතා හිටියෙ නෑ - අද උදේම පිටත්වුනා...”
වැඩ බහුල නැන්දා ගේ ඇතුලට ගිය වහාම මම අප්පුහාමිත් එක්ක කතා කර කර මිදුලට ගියා.
“හොඳ ඇඳුම් කට්ටලේ!”
“පුතා කැමතියි වගේ මගෙ නැෂනල් එකට!”
මම මගෙ කටහඬ සද්දේ ටිකක් අඩු කරා.
“අබේ මාමා මොකද කිව්වේ? ඇයි නැන්දා කිව්වේ ‘කාලෙකට පස්සේ ආවේ’ කියලා, හරියට මීට ඉස්සර හඳුනනවා වගේ?, අයියත් දන්නවද? රෑම ඉන්නද අදහස? … ඇයි ආවේ?...”
මගෙ ප්රශ්න ආවේ වක්කඩයක් කැඩුවා වගේ. අප්පුහාමී උත්තර දුන්නේ නිසසල ජලාශයක් වගේ තැන්පත් බවක් පෙන්වලා, මඳ සිනා මුහුණින්.
“අජිත් පුතා… (ඒ ආමන්ත්රනයට මම ගැස්සිලා හිටියා)… කරුනා අක්කට මාව යාන්තම් මතකයි… පුතාට තේරෙනවා නේද කොහොමද කියලා?... අබේ අයියා නියම මහත්තයෙක් - මගෙ හදිසි පැමිණීම ගැන වචනයක් වත් කිව්වෙ නෑ; කිව්ව එකම දේ ‘මලයා ආපු එකත් හොඳයි - හරියට වැඩ තියෙනවා’ කියලා. සුනිල් පුතත් එක්ක කතා කරන්ට වෙලාවක් හම්බවුනේ නෑ තවම. ඊලඟ ප්රශ්න දෙකෙන් එකකට උත්තර දෙන්ට පුළුවන්. මම අද රෑ මෙහෙ නවතිනවා - සමහරවිට හෙටත් ඉන්නවා. ඈත ඉඳන් කාලෙකට පස්සේ ආපු ඥාති සහෝදරයෙක් රෑ කොහෙ යන්ටද? යන්ට ඕනෑ කිව්වොත් අක්කා එහෙම මොනවා හිතයිද?”
අප්පුහාමී ආයෙත් හිනාවුනාට මුහුණේ බැරෑරුම් ගතියක් පෙනෙන්න තිබුනා.
“පුතාගෙ අන්තිම ප්රශ්නේ - ‘ඇයි මම ආවේ?’ – ඒකට උත්තරේ හෙට දිහාට දෙන්ට පුළුවන්. අද බෑ!”
හාමුදුරුවෝ වඩිනකම් මම නිලන්තගෙ මිත්ර ආරියි, ගොක්කොල වැඩට උදව්කළ නවරත්නයි එක්ක කතා වට එක්වුනා. අප්පුහාමී මගෙ කෝප්පෙත් අරගෙන ගේ ඇතුලට ගියාට විටින් විට පිරිතට ලෑස්තිවෙන කටයුතු වලට උදව් වෙනවා මම දැක්කා. ඇත්තටම මිනිහා හැසිරුනේ පිරිතට ඉතා උපකාරී ගමේ/පවුලේ කෙනෙක් වගේ. ඒක මගෙ හිතට පොඩි සැනසීමක්වුනා.
…………………………
දානෙන් පස්සේ හාමුදුරුවෝ ආපහු වැඩමවීම නිලන්ත බාර ගත්තා. නැන්දා මූලිකව පවුලේ අය, විශේෂයෙන්ම ගැහැනු අය, පැමිණ සිටි අයට කෑමට අරාධනය කළා. මේක සාමාන්යෙන් සිද්ධ වෙන දෙයක් - ගෙදර අය දවල්ට කන්නේ අමුත්තන්ට කෑම දීමෙන් පසුවයි.
අබේ මාමා දේවා මාමටත් අයියටත් මටත් කන්තෝරු කාමරේට කතාකළේ අපේ කෑම ටිකක් කල් දැමිය හැකි බව දන්න නිසයි. කාමරේ අරක්කු තිබෙන් බව දැනගෙන හිටියත් මට වඩාම ඕනවුනේ ‘දේවා මාමගෙ’ පැමිණීම ගැන විස්තර පහදා ගන්නයි.
“අයියා… ලොකු මහත්තයා… අජිත් මගෙන් ඊයේ අහපු ප්රශ්නයකට අද උත්තර දෙන්ට පොරොන්දුවුනා… මං කැමතියි ඒ පොරොන්දුව සපුරන්ට. කමක් නැද්ද?”
අබේ මාමා අපි තුන්දෙනා දිහාම කල්පනාවෙන් බලා හිටියා විනාඩියක්. අන්තිමට කතා කරේ හීන් හඬින්.
“ඊයේ මේ පුතා මට නුවරින් කෝල් කරලා අප්පුහාමිගෙ ඉල්ලීම ගැන කියනකොට මම ගැස්සිලා හිටියා - මට තේරුණ විදිහට අප්පුහාමී කියන්නේ අපි තුන්දෙනා අතර විතරක් තියෙන රහසක්… කාටවත් කිව නොහැකි රහසක්. එහෙම තියෙද්දී මම කොහොමද මෙයා ගෙදරට වැද්දගන්නේ?”
මාමා ආයෙත් වටපිට බැලුවා. ඒ සැරේ මුහුණේ බැරෑරුම් ගතිය ටිකක් අඩුයි වගේ.
“… හැබැයි විනාඩියෙන් මට තේරුණා ඒ දෙගිඩියාවේ මුල මොකද්ද කියලා. අපි කාලෙකට ඉස්සර අප්පුහාමී ගැන හිතපු විදිහට ඒ දෙගිඩියාව සාධාරණයි. නමුත් දැන් අපිට ඊට වඩා ටිකක් හරි හොඳ අවබෝධයක් තියෙනවා අප්පුහාමී ගැන. මම හිතෙන් අප්පුහාමිට ගෞරව සහිතව ආරාධනා කළා අපෙ පිරිතට…”
ඒ සැරේ මාමා ඇත්තටම හිනාවුනා.
“ආරාධනා කරලා විනාඩියයි මගෙ ‘දේවා මල්ලී’ ඉස්සරහ දොර ලඟ - කෙසෙල්ගෙඩි ගොඩකුත් දක්කාගෙන!”
මාමා ආයෙත් හිනාවුනා.
“පුතාගෙ ප්රශ්න වලට උත්තර දෙන්ට ඉස්සර මම තව එක දෙයක් කියන්ට ඕනෑ… මම කැමතියි අපෙ අප්පුහාමිගෙ නම මාරු කරන්ට… අද ඉඳන් මේ ඉන්නේ මගෙ ‘දේවා මල්ලී’, ලොක්කගෙ ‘දේවා බාප්පු’, අජිත් පුතාගෙ ‘දේවා මාමා’… මගෙ දේවා මලයට මේ ගෙදර ඕනෑම දවසක එන්ට, ඇවිත් ඉන්ට, පුළුවන් මගෙ කිට්ටුවන්තයෙක් හැටියට”
මෙහෙම කියලා මාමා එයාගෙ වීදුරුව උඩට ඉස්සුවා අද පළමුවරට. දේවා මාමා කතාව පටන්ගත්තේ අබේ මාමා වගේම කට හඬකින්.
“ස්තුතියි… අයියා!... මගෙ අලුත් පවුලේ අය හැටියට අයියයි පුත්තුයි දැනගන්ට ඕනෑ මේ කාමරේ දැන් ඉන්න අයගෙන් පිට ඉන්න ලෝකේ සේරටම මම ‘දේවා’ කියන මැදි වයසේ මිනිහෙක්, අයියගෙ ඥාති සහෝදරයෙක්. මේ තුන්දෙනා විතරයි මා ගැන ඊට වැඩිය යමක් දන්නේ… ඒ කියන්නේ… මගේ විශේෂ හැකියාවන් පාවිච්චි වෙන්නේ මේ තුන්දෙනා වෙනුවෙන් නැත්නම් මේ තුන්දෙනාගේ ඉල්ලීමෙන්… හැබැයි මතක තියාගන්ට: මම ඔය තුන්දෙනාට කිසිම වැරැදි/කුහක/නපුරු/අන්තරාදායක… මේ වගේ කිසිම දේකට උදව් දෙන්නෙ නෑ… ඇත්තම් කිව්වොත් එහෙම දේකට උදව් දෙන්ට මට බලයක් නෑ…”
දේවා මාමා ලොකු හුස්මක් ගත්තා.
“අජිත් පුතාගෙ ප්රශ්නේ - ‘ඇයි මම ආවේ?’. ඒක මම පොඩි කතාවක් හැටියට කියන්ට බලන්නම්… මම අනුග්රාහකයෝ සොයාගන්න උත්සාහය පටන්ගත්තේ දැනට අවුරුදු දෙසීයකටත් ඉස්සර. දැනට අවුරුදු සීයකට විතර ඉස්සර මගෙ අට්ටික්කා ගහට එනකම් වැඩි සතුටුදායක ප්රතිඵල තිබුනෙ නෑ. මෙහෙදිත් පළවෙනි අවුරුදු තිහේ විතර එකම අපේක්ෂකයයි ලැබුනේ - අයියගෙ අප්පච්චී; කෝරලේ මහත්තයා…”
අබේ මාමගෙ පැහැදිලිව පෙනෙන තිගැස්ම දේවා මාමා ගානකට ගත්තෙ නෑ.
“ඊලඟට මම අබේ අයියා අල්ලලා බැලුවා, දෙවෙනි අපේක්ෂකයා හැටියට… දැනට අවුරුදු හැත්තෑවකට විතර ඉස්සර… අජිත් පුතා ඒ කතාව අහලා තියෙනවා - ඇහුවේ මට පුතා හම්බවුන දවසේ… මතකයි නේද කරාඹු මුදලාලී? හැබැයි එතකොට කෝරලේ මහත්තයා නැතිවෙලා කාලයක්. ඒ කියන්නේ මට අනුග්රාහකයෝ තුන්දෙනෙක් තවම නෑ… නමුත් කාලය මට ප්රශ්නයක් නෙවෙයි - මං ඉවසාගෙන් හිටියා තුන්වෙනියා එනකම්…”
ඒ සැරේ අපි තුන් දෙනාම දේවා මාමා දිහා බලාගෙන හිටියේ කතාව කොහෙ යනවද කියලා නොදැන. අපි තුන්දෙනා ‘අල්ලගත්තැන්’ පස්සේ මොකද්ද දැන් ගෙවල් වලට එන්න හේතුව? මගෙ ප්රශ්නෙත් ඒක.
“ඔවු අජිත් පුතා - මම ගෙදරට එන්නේ ඇයි කියන එක තමා ප්රශ්නේ… ඒ ගැන පුතාගෙ පැත්තෙන් නෙවෙයි මගෙ පැත්තෙන් හිතලා බලන්ට… මම අනුග්රාහකයෝ තුන්දෙනෙක් බඳවා ගන්ට උත්සාහ කරේ ඒක අපෙ යුතුකමක් නිසා. ඒ ගැන අපි පිළිපදින නීති පද්දතියක් තියෙනවා. ඒ නීති පද්දතියේ ඊලඟ අදියර තමා අනුග්රාහකයන්ගේ කිට්ටුවන්තයන් හඳුනා ගෙන ඔවුන්ට තමා පිළිගැනීමට පහසුකම් සැපයීම…. ඒ කියන්නේ කිට්ටුවන්තයනේ හිතට අල්ලන විදිහට පෙනීසිටීම; හැඩයෙන් වගේම කතාවෙන් සහ ක්රියාවෙන්… මට හිතුනා පවුලේ අය එකතුවන පිරිතක් ඒකට හොඳ අවස්ථාව කියලා!”
අපි මුහුණෙන් මුහුණ බැලුවේ දේවා මාමා ඒ ව්යායාමය සාර්ථකව සම්පූර්ණ කර ඇති බව දන්න නිසයි. පවුලේ අය පමණක් නෙවෙයි ගමේ අයත් දේවා මාමගෙ හොඳ කිව්වා; ප්රසන්න පෙනුම, හිතවත් කතා විලාශය, තැනට ඔබින හැසිරීම වගේම ඕනැම වැඩකට උදව් කිරීමට ලෑස්තිය මෙන්ම හැකියාව නිසා. ඒ සමගම අබේ මාමගෙ ඥාති සහෝදරයෙක් වීම නිසා නෑදෑ ඕනෑම ගෙදරකට දේවා මාමා සාදරයෙන් පිළිගැනෙන බව නිසැකයි.
නමුත් මට තව ප්රශ්නයක් තිබුනා.
“මට තේරෙන්නෙ නැත්තේ… මොකද්ද පවුලේ අය ආශ්රය කිරීමේ අවශ්යතාවය? මේක අපෙ පවුලට විතරක් වෙන දෙයක්ද?”
“අන්න පුතා හරි පරශ්නේ - අහන හේතුව වැරදි වුනත්! අපේ දෙවිවරු ගස්වල, ගුහාවල, ඇල දොල වල ජීවත් වෙන්නේ මිනිස් ලෝකෙට සම්බන්ධ වෙන තුරු විතරයි… මිනිස් ලෝකෙට සම්බන්ධ වෙනවා කිව්වේ පවුලකට එකතුවීම - මං අද කරා වගේ. දැන් අර අට්ටික්කා ගහ කපලා දැම්මත් මට ප්රශ්නයක් නෑ… ඒක මට අවශ්ය නෑ”
දේවා මාමා සන්සුන් මුහුණක් පෙන්වා හෙමින් කතා කරා.
“ඔය තුන්දෙනාම දන්නවා ඇති ඉඳලා හිටලා ගෙවල් වලට එන දුර නෑදෑයෝ. කාලෙකට පස්සේ ඇවිත්, සමහරවිට දවස් කීපයක් නැවතිලා යන අය. මේක හුඟාක් ගෙවල් වල සිද්ධ වෙන දෙයක්. හරිම හොඳ අය - කිසි කරදරයක් නෑ; ගෙහිමියන්ට බරක් නෙවෙයි. එහෙම අය එනවට ගෙහිමියෝ කැමතියි - වෙනදා ගෙදර තියෙන පොඩි පහේ අසම්මති එහෙමත් සමතයකට පත්වෙනවා ඒ අය ආවට පස්සේ… “
“ඒ මගෙ ජාතියේ අය!”
“අයියා… පුතාලා… මේ අය දන්නවා මට එක එක්කෙනාගෙ මතක වෙනස් කරන්ට පුළුවන් කියලා. ඒකයි කරුනා අක්කට මතක මං මෙහෙ ඉස්සර ඇවිත් තියෙනවා කියලා. අයියා හිතේ කහටක් තියාගන්ට ඕන නෑ - මම කවදාවත් මගෙ පවුලේ අයට හානියක් වෙන දෙයක් කරන්නෙ නෑ… මේ පවුලටයි ගමටයි යහපතක් කරන්ට මට පුළුවන් - මම අද ඉඳන් ඒකට කැප වෙනවා”
“මම එක දෙයක් ඔයාලගෙන් ඉල්ලන්ට කැමතියි… ඒ තමයි… පුළුවන් හැම වෙලාවෙම, හඳුනන සේරටම කියන්ට ඉඳලා හිටලා ගෙදර එන දුර නෑයන්ට හොදින් සලකන්ට කියලා - ඒ අයගෙන් කවදාවත් වරදක් වෙන්නෙ නෑ. ඒ අයත් මං වගේ දෙයියෝ!”
“… තව එකක්… කරුනා අක්කා දැන් බලනවා අපි කොහෙද කියලා - ඒ කියන්නේ හරි හැසිරීමේ නීති අනුව අපි දැන් කන්ට යන්ට ඕනෑ!”